Saturday, July 30, 2011

The unseen path - අප නුදුටු මග

අප නුදුටු මග
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමාන තාක්ෂණික ලොව තුල ඉහලින්ම වැජඹෙන ක්ෂේත්‍රයකි.වත්මන් තරුණ පරපුර (අපද ඇතුළුව ) එම ක්ෂේත්‍රය කෙරෙහි දක්වන උනන්දුව ඇති මහත්ය.
අයෙක් ශිෂ්‍යත්ව පන්තියේ සිටද තවෙකෙක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල සිටද සිහින මවන්නේ මෙම ක්ෂේත්‍රයට පිවිසීමටය. අන්තර්ජාලය කෙතරම් ප්‍රබල වීද යත් එතුලින් සොයා ගත නොහැකි දෙයක් නොමැති බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත.
දැන් නැවතත් අප අතීතය දෙසට මදක් අවධානය යොමු කර සිටියහොත් අප කුඩා කල අපට හිතේ හැටියට සෙල්ලම් කිරීමට අවකාශය ලැබුණි. හැඟී මුත්තන් , බට්ට පැනීම, පංච දැමීම, එල්ලේගැසීම, වයින් බෝතලය, ටකර ගැසීම ආදී නොයෙකුත් සෙල්ලම් වල අප යෙදී ඇත්තෙමු. මෙසේ සෙල්ලම් කරන අප ඉරිදට දහම් පාසල් යන්නේ හොඳ සිරිත් විරිත් ඉගෙනගනීමටය. සමාජයේ යහපත් පුරවැසියකු වීමටය. එහිදී ධර්මය තුලින් අපගේ ජීවිතය ගොඩනග ගැනීම පිළිබඳව අපට දැනුමක් ලැබුණි. ඉන්පසු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට එන විට තරඟ කාරී විභාග රටාවට ඇතුලත් වුනු අපට සෙල්ලම් කිරීමට , පොතක් පතක් (විෂය බාහිර) කියවීමට වෙලාවක් නොවුනි. ඉන්පසුව තොරතුරු තාක්ෂණ හෝ සන්නිවේදන හෝ පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධි පාඨමාලා කෙරෙහි යොමුවුණු අපට නවකතාවක් , කෙටි කතාවක්, පරිවර්තන කෘතියක් හෝ ධර්ම ග්‍රන්ථයක් අසලකට හෝ ගැනීමට අවකාශ නොලැබුණි. අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් උණුසුම් පුවත්, ඕපා දුප , තාක්ෂණික මෙවලම්, පරිගණක ක්‍රීඩා, ආර්ථිකමය, දේශපාලනික තොරතුරු අපට ගලා එන්නට විය.
මෙසේ සංකීර්ණ වූ ඉමක් කොනක් නොමැති පරිසරයක අඳුරේ නොවැටී සිටීමට උත්සහ කරමින් සිටි මා හට හදිසියේම විශ්ව සාහිත්‍යයේ එන හොඳ නව කතා සහ කෙටි කතා කීපයක් කියවන්නට ලැබුණි. අහෝ! අපට කෙතරම් දෑ මග හරී ඇද්ද? මානව ගුණාංග , මානව සම්බන්ධතා , සාහිත්‍ය, කලාව සහ යථාර්තය අප ගෙන් කොපමණ දුරස්ව ගොස් තිබේද ? අන්තර්ජාලය තුල මෙවන් වටිනා දේවල් විරල වශයෙන් තිබුනද ඒවාට වානිජමය වටිනාකමක් නොමැති බැවින් ඒවාට ප්‍රමුඛතාවය ලැබී නැත.
අපට මග හැරී ගිය ඒ උතුම් සහ සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍යම වූ අංගය නැවතත් කෙසේ හෝ අපගේ ජීවිතයට එකතු කර ගත යුතු කාලය එළඹ ඇත. එසේ නොමැති වුවහොත් අපගෙන් පසුව එන පරම්පරාව මානුෂික ගුණාංග වලින් තොර වූ මුදල් පසු පස හඹා යන යන්ත්‍ර පමණක් බවට පත්වීම නොවැලක්විය හැකි වනු ඇත.